වංගු දහ අට
















**********************************************


දහ අට වංගු මාර්ගය එනමින් ප්‍රකටව ඇත්තේ එහි ඇති ප්‍රපාතාකාර වැලමිට වංගු දහ අට නිසාය. මේ මාර්ගයේ එක් වරක් පමණක් ගමන් කැර ඇති අයෙකුට වුවත් එය කිසිදා අමතක නොවන ගමනක් වනු ඇත. උඩුදුම්බර පොලිස් බල ප්‍රදේශයෙන් ඇරඹෙන දහ අට වංගුව අවසන් වන්නේ හසලක පොලිස් බල ප්‍රදේශයෙනි.
ඔබ කන්ද නඟින්න. පළමුවැනි වංගුව පටන් ගන්නා තැන සිට පහත බලන්න. සදාහරිත තුරු වදුලු හාත්පස සිසාරා මිණිපේ ජලාශය දෙනෙතට හසුවෙයි. ඉන් වසඟ නොවී දෙනෙත් අංශක 90ට කෝණගත කරන්න. කළු පැහැති යෝධ උරගයෙක් දඟර ගැසී දිවයන්නා සේ දැන් පෙනෙන්නේ දහඅට වංගු මාර්ගය යි. ඔබ එය දුටුවේ යෝධ සර්පිලයක් ලෙස නම් එය අපූරු කල්පනාවකි.

විශේෂ ආරක්ෂක කැටපතක්
”මේ පළමුවැනි වංගුවේ ඉඳලා අන්තිම වංගුව දක්වා හරි කෙළින් නූලක් පහතට දැම්මොත් ඒක කොච්චර දිග වෙයිද ...?”
”.... මීටර් පන්සීයකටත් වඩා අඩුයි.”
අප සමඟ වුන් ඉංජිනේරු තැන සෘජු පිළිතුරක් දුන්නේය. එයින් අපි මවිතයට පත්වීමු.
”ඒ කියන්නෙ වංගු දහ අටම තියෙන්නේ උසින් කිලෝමීටර් භාගයකටත් වඩා අඩු දුරකින්?”
”ඔව් මීටර හාරසිය ගණනක් තියෙන්නේ”
ඔහු නැවත වරක් පිළිතුරු දුන්නේය. එහෙත් ඒ සරල පිළිතුර පිටුපස සැඟව ඇත්තේ බැරෑරුම් කතාවකි. කෙටියෙන්ම කිවහොත් මෙවැනි ප්‍රපාතාකාර බෑවුමක කන්ද වටේ හැරෙමින් මහා මාර්ගයක් තැනීම සුළුපටු කාරියක් නොවේ.
කිලෝමීටර භාගයක දුර නඟින්නට හෝ බසින්නට ඔබ කිලෝමීටර හතක දුරක් කන්ද වටේ සැරිසැරිය යුතුය. මේ කෙතරම් අපූරු දැයි සිතන්න. නමුත් ඊට වඩා වටින්නේ එය ඔබ සියැසින්ම දැක බලා ගැනීමය.
කෝපි කාලේ සුද්දෙක්; අක්කරය සිලිං පහ ගණනේ කඳු යායක් මිලට ගත්තේය. ගමන අශ්වයා පිටිනි. දුම්බර කඳු වළල්ලේ සිට බින්තැන්න දෙසට ඇදී ගිය ඒ අඩි පාර පසු කලෙක ගුරු පාරක් බවට පළල් විය. ඊටත් පසුව එය ගල් තාර යෙදූ මහා මාර්ගයක් බවට වැඩි දියුණු කෙරුණේ කොළඹ වරාය දක්වා තේ - කෝපි ප්‍රවාහනය කිරීමට ය. ඒ දහ අට වංගුවේ ඉතිහාස කතාවය. අවාසනාවකට දහඅට වංගුවේ මුලින් ම අශ්වයා පිටින් ගිය වතුකාර සුද්දා ගේ නම දන්නා කෙනෙක් සොයා ගත නොහැකි විය.
බින්තැන්න; යක්ෂ ගෝත්‍රිකයන් ගේ පුරාණ රාජධානියකි. මහා රාවණ රජු ගේ තේජස මෙහි පැතිර ගියේලු. බුද්ධත්වයෙන් නම වැනි මාසයේදී බුදුරජාණන් වහන්සේ පළමු වරට ලක්දිවට වැඩම කළ බව බෞද්ධයන් ගේ විශ්වාසය යි. ඒ බින්තැන්න හෙවත් අද මහියංගණයට ය.

දහඅට වංගුවේ අද රේස් යන හැටි
සුමන සමන් දෙවියන් බුදුන් වහන්සේ ගෙන් ඉල්ලා ගත් කේශ ධාතු තැන්පත් කොට පසු කලෙක මිහිගුණ මහ සෑය ඉදිකළ බව තවත් ජනප්‍රවාදයකි. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ වාසය කරන මහනුවර රාජධානියත්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත්ව ඇති මහියංගණයත් යා කැරෙන ඉපැරැණි ගමන් මාර්ගයක් තිබුණේය. බින්තැන්නේ ආදීවාසීන් දළදා වඳින්නට මී පැණි රැගෙන ගමන් කොට ඇත්තේ ඒ මඟ ඔස්සේ ය. එහෙත් අද ඒ මඟ දක්නට නැත.
කෙසේ වෙතත් දහ අට වංගු මාර්ගය ඉදි කිරීමෙන් පසුව මහනුවර සහ මහියංගණයත් දීඝවාපිය පිහිටි නැෙඟනහිරත් එකම වන්දනා ගමනක් බවට පත් විය. මේ ඒ සඳහා ඇති ජීවමාන සාක්ෂියකි.
”... අපි නමෝ විත්තියෙන් කොරතොට ඉඳලා ගමනට වැඩ අවසර ගත්තේ පත්තිනි දේව මෑණියන්ගෙන්. තෙරුවන් සිහිකර ගෙන බලන ගලෙනුත් නැඟලා ශ්‍රී දළදා හාමුදුරුවෝ වැඳ පුදා ගත්තා.
ඊළඟට රෑ පානෙම දුම්බර කන්ද නැග්ගා. හුන්නස්ගිරිය – උඩුදුම්බර පහු කරලා දහ අට වංගුව ළංවෙත්දී හැමෝම අවදියෙන්. පාර අයිනෙම කෝපි වත්කරගෙන බිව්වා. ලන්තෑරුම් දෙකක් අතට අරගෙන ඉලන්දාරි දෙන්නෙක් වන්දනා බස් එකට කලින් පයින්ම දහ අට වංගුව බහින්න පිටත් වුණා.
අඩ කොටේ සූදානම් කරගෙන ගෝලයා සීරු - මාරුවෙන්. රියදුරු මහත්තයා සුක්කානමට තුන් පාරක් වැඳලා දහ අට වංගුව බහින්න පටන් ගත්තා. ඒ කාලෙ හොර හතුරොත් හිටියා. දෙවැනි වංගුව තමා නරකම තැන. එතන නතර කරලා වාහනේ රිවස් නොකර කොහොමටවත් වංගුව පන්න ගන්න බෑ. මෙන්න මේ වෙලාවට තමා මංකොල්ලකාරයෝ එළියට පනින්නේ. අනිත් පැත්තෙන් වංගුව හරිම භයානකයි. පොඩ්ඩ බැරි වුණොත් නතර වෙන්නේ ප්‍රපාතය පතුළේ.
කන්ද පහළ ඉඳලා වාහනයක එළියක් දැක්කොත් අපේ වාහනේ ඉඩ තියෙන තැනක නතර කරගෙන අර වාහනේ යනතුරු බලා උන්නා. මොකද කන්ද නඟින වාහනේට ඉඩ දීම තමා ඒ කාලේ සිරිත. මඟ අනතුරක් දැක්කොත් කලින් ලන්තෑරුම් අරගෙන පහළට බැස්ස කොල්ලො දෙන්නා ඒ බව දැනුම් දෙනවා. අමතර ආරක්ෂාවටයි එහෙම කෙරුවේ. කොහොම හරි අඩ කොටේ තිය තියා දහ අට වංගුව බැහැලා මහියංගණේට ගියා කියමුකෝ. මහ සෑය දැක්ක හැටියේ අපි දොහොත් මුදුන් දීලා වැන්දා ... වැන්දා නොවෙයි ළමයෝ හිතේ බය දුරුවෙච්ච සහනෙට ඉබේටම වැඳෙනවා. ඒක පුදුමාකාර භක්තියක්.”
අතීතයේ දී වන්දනා නඬ සංවිධානය කළ කඩුවෙල ඒමින් සිංඤෝ උපාසක තැන දහ අට වංගුව බැස මිහිගුණ සෑය වඳින්නට ගිය ගමනක් එසේ සිහිපත් කෙළේ ය.
”... ඒ කාලේ වන්දනා ගමනක් ගියේ හරකා - බාන වතු පිටි අඹු දරුවන්ට - ලේ ඥාතීන්ට බාර දීලයි. අපි සති ගණන් ඇවිද්දා. අතරමං වෙලා - හාමත් වෙලා හිටිය දවසුත් තිබුණා. මහියංගණ මහ සෑය වැන්ඳට පස්සේ පදියතලාව, මහඔය අම්පාර හරහා දීඝවාපියට ගියා. ඊළඟට පොතුවිල් මුහුදු විහාරේ වැන්ඳා. සියඹලාණ්ඩුව හරහා අපි ආපහු ගම්බිම්වලට ආවේ කියන්න බැරි සතුටකින්. ඒ මඟ විස්තර සති ගාණක් කියන්න පුළුවන්.
සමහරුන් මෙහෙම ගමනක් ගියේ ජීවිතේට ම එක පාරයි. සමහර වතාවල්වල මහියංගණයේදී ගමන් මාර්ගය වෙනස් කරලා අපි පොළොන්නරුවටත් ගියා. නැත්තං සියඹලාණ්ඩුවෙන් පාර වෙනස් කරලා කිරි වෙහෙර – කතරගම වඳින්න රුහුණටත් ගියා.”
දහ අට වංගුව බැස මහියංගණයට ගිය විට මෙරට යෑමට – ඒමට තවත් බොහෝ මාර්ග පෑදෙන බව ආ ගිය ගමන් සිහිපත් කරමින් ඒමින් සිංඤෝ උපාසක මහතා විස්තර කෙළේය. දහ අට වංගුවේ බඩු පටවා ගෙන නිතර ගමන් කළ පැරණි රියදුරන් සතුව බොහෝ රසවත් කතන්දර ඇත.

මිණිපේ ජලාශය
ඒවා ත්‍රාසජනක මෙන් ම හාස්‍යජනක සිද්ධීන්ගෙන් ගහණය. ඇත්තට ම ඒ ආ ගිය කතා වෙන ම සාහිත්‍යාංගයකි. කැමති අයෙක් තොරතුරු සොයා ගෙන ඒ සාහිත්‍ය පෝෂණය කරත්වා.
කාලයත් සමඟ ම මඟ තොටත් වෙනස් වෙයි. යටත් පිරිසෙයින් මීට වසර දෙක තුනකටවත් පෙර පැවති දහ අට වංගුවේ ගිය කෙනෙකු නම් ඒ පැරණි මඟ අද නොදකිනු ඇත. ඒමිස් සිංඤෝ උපාසක මහතා අද එහි ගියොත් දකින දෙයින් ඔහු විමතියට පත්වනු නො අනුමානය. වෙන රටකට ගොඩ බැස්සාද කියා ඔහුට සිතෙනු ඇත.
1990 දශකයේ මුල් භාගයේදී මම නිතර නිතර දහ අට වංගුව ඔස්සේ අම්පාරට සහ කල්මුණේට ගමන් ගියෙමි. ඒ සෑම විටෙකදීම වෙනත් පහසු මාර්ග තිබියදී පවා දහ අට වංගු මාර්ගය ම තෝරා ගත්තේ එය කවදාවත් එපා නොවන ගමන් මඟක් වූ නිසා ය.
ක්‍රමයෙන් මේ මාර්ගය පරිහානියට පත් වන්නට වූයේ අදහාගත නොහැකි වේගයකිනි. පාර පටුය. ගල්තාර ගැලවී ගොස්ය. වංගුවල ආරක්ෂක පැති බැමි පුපුරා කඩා වැටෙන්නට යන්නා සේ පෙනිණ. ප්‍රපාතාකාර බෑවුම ආසන්නයෙන් ම විහිදුණු මාර්ගය කොයි මොහොතේ බර පැටවූ වාහනයක් සමඟ ගිලා බසී ද යන බිය සංකා ද පහළ විය. එදා එය කොහොමටත් අනතුරු බහුල මාර්ගයකි.
දහඅට වංගුව මඟ හැර රජ මාවත ඔස්සේ රන්දෙණිගල ජලාශය හරහා මහියංගණයට යෑම ඇඟට ගුණ බව සිතා බොහෝ දෙනා වෙන අතක් බලා ගත්හ. නමුත් ගමන දුරය. රෑ කාලෙදී නම් ඒ මාර්ගයේ දී අලි රංචු මුණ ගැසීමේ අවදානමද බාර ගත යුතුය.
ගණන් බලා ඇති අන්දමට දහ අට වංගු මාර්ගයේ දිනකට සාමාන්‍යයෙන් රථවාහන 3000 ක් පමණ ගමන් කරයි. ඉන් 800 ක් පමණ ම වැලි ලොරිය. හානිය අතින් ගත් කළ එක් වැලි ලොරියක් යනු මෝටර් රථ සියයකින් සිදුවන බලපෑමට සමාන ය.
”මේ පාරට වැඩිම හානිය කෙරුවේ වැලි ලොරි. පාර ගන්නම දෙයක් නැතිවයි තිබුණේ. දහ අට වංගුව අත හැරලා සමහරු විකල්ප මාර්ග ගැන කතා කර කර හිටියේ වැඩේ කරන්න නෙවෙයි නො කරන්න. නමුත් මහින්ද චින්තන වැඩ පිළිවෙළ යටතේ මේකත් කරලා පෙන්වන්න පුළුවන් වුණ වැඩක් බවට පත් වුණා...” මාර්ග සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෙක් කතාවට මුල පිරුවේය.
එදා ගල් - තාර යොදා තිබූ දහ අට වංගු මාර්ගය අද සුපිරි කාපට් මාර්ගයකි. කොළ පැහැති පසුබිමේ මා එය දුටුවේ දුම්බර කඳු වැටියට එලා ඇති ඝන කළු පලසක් ලෙසය. ඒ එතරම්ම නෙතට සුව පහසුය. වෑන් රිය කිසිදු හැල හැප්පීමකින් තොරව මට සිළිටිව ඇදී යයි.
”මේකද මහත්තයා දහ අට වංගුව...
සිම්පල් නේ...”
ජීවිතයේ පළමුවරට දහ අට වංගුව ඔස්සේ වාහනයක් රැගෙන යන අපේ රියදුරු තැන වේගය තවත් වැඩි කරමින් කීවේය.
”හා.. ඒකට කමක් නෑ.. හෙමිහිට යං..”
අතීතයේ දහඅට වංගුවේ ගමන් සිහිවී මම කීවෙමි.
එදා අඹ කොට රැගෙන සීරු මාරුවට ගිය ගමන අද ‘සෙල්ලං ද කොල්ලෝ’ කීවා වැනි ගමනක් වී තිබේ. ඈත පහළ වංගුවේ රතු පැහැති බස් රථ දෙකක් අතර ධාවන තරගයකි. වංගුව පසු කළ සැණින් පසුපසින් ආ බස් රථය අනෙක් බසය පසු කොට ඉගිල ගියේය. දහ අට වංගුව වෙනස්වී ඇති තරමක්! එදා පාරේ පළල යන්තම් මීටර තුනකි. අද එය මීටර 8.5 ක් තරම් මහත් වී තිබෙන්නේ මං තීරු දෙකක් ද සමඟිනි.
දහඅට වංගුව අතර මාර්ගයේ වම්පස ප්‍රපාතය පැත්තේ කුඩා සානුවක හැඩයට තැනූ තැන් ගණනාවකි. වාහනය එවැනි තැනෙක නතර කොට සිත් සේ සොබා අසිරිය විඳගත හැකිය. මේ සියල්ල ම සමඟ නෙත ගැටෙන්නේ අන්තර්ජාතික මට්ටමින් ඉඳි කළ නවීන මාර්ග සංඥා පුවරුය. නෙත පිනවයි. එහෙත් හිත කකියයි. විශේෂ ලෝහ වර්ගයකින් තැනූ යෝධ කැටපත් කිහිපයකි. ඒ නො පෙනෙන වංගු අතරින් එන වාහන ඉදිරියෙන් එන රියදුරන්ට දැක බලා ගැනීමට ය.
ඉලක්කය බලා වේගයෙන් ගසන ලද ගල් පහරක් නිසා රුපියල් 50,000 ක් පමණ වටිනා එකී කැටපතක් සිදුරු වී ගොස් ය. දැන් එයින් ඇති වැඩක් නැත. නවීන මාර්ග සංඥා පුවරු කිහිපයක් සහ ආරක්ෂක ලෝහ වැටක් ද හානියට පත්ව ඇත. නොහික්මුණු නරුමයන් කිහිප දෙනෙක් කළ අමන වැඩකි. උඩුදුම්බර හා හසලක පොලීසිවල නිලධාරීන් ඒ ගැන බලත්වා!
දුම්බර කඳු වළල්ලේ දහ අට වංගුව අතරින් ඝන කළු කාපට් පලස එළන්නට ඉඩදීමට සොබාදහම නො සෑහෙන කැප කිරීම් සිදු කළාය. කිසිවකින් නොසැලුණු කඳු වැටිය, පාර මහත් කිරීම සඳහා වන්දි ගෙව්වේ තම ඇඟ මසින්මය.
දරුවන් මෙන් පෝෂණය කළ ගස් 5000 ක්ද ඒ සඳහා කැප කළාය. කිසිදා මිනිස් පහසක් නොලත් මහා කළු ගල් තලාවක් කුඩා ගල් කැට පමණට බිඳී විසිරුණේ මිනිසා ගේ සුව පහසුව පිණිසය. වැය කළ මුදල රුපියල් මිලියන 4800 කට ආසන්නය. දහ අට වංගුව එදත් අදත් සෙල්ලමක් නොවේ.
”... කෙනෙක් ඇහුවොත් මේ රටේ තියෙන දුෂ්කරම මාර්ගය මොකක්ද? මගේ උත්තරය දහ අට වංගුව. මෙහෙම තැනක් ලෝකයේ තවත් තැනක තියෙනවද කියලවත් අපි අහලා නෑ. පාර හදන්න ගත්තම ලොකු අභියෝග මතු වුණා. එකක් පරිසරය. අනිත් පැත්තෙන් මිනිස්සු. කඳු වැටිය කපා ගෙන යත්දී වටිනා ගස් 5000 ක් විතර ඉවත් කරන්න සිදු වුණා. නමුත් අපි ඒ වෙනුවට අලුතෙන් පැළ 7000 ක් රෝපණය කළා. ඊළඟට කළුගල්. මේවා කඩන්න වුණේ පරිසරයට හා අවට පදිංචිකරුවන්ට අවම හානියක් වන විදිහටයි. සාම්ප්‍රදායික බෝර දැමීම වගේ ම රසායනික ක්‍රමයටත් ගල් පිපිරෙව්වා...”
මාර්ග සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ තිදෙනෙක් අප සමඟ සිටිති. ඔවුහු මාරුවෙන් මාරුවට අපේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්හ.
”රසායනික ක්‍රමයට ගල් පිපිරවීම කොහොමද කෙරුවේ?”
”රසායනික සංයෝගයක් ගල හාරලා ඇතුළට දානවා. පැය 48 කදී ගල කැබලිවලට පුපුරණවා. දූවිලි - ශබ්දය ඇති වෙන්නේ නෑ. නමුත් මෙතන ප්‍රශ්නය ගල කොයි වෙලාවේ පිපිරිලා ගල් කුට්ටි පහතට වැටෙයිද කියන අවදානම කලින් දැන ගන්න විදිහක් නෑ.”
”අනතුරු කීයක් විතර වුණා ද?”
”එක රියදුරෙක් ඔහුගේ ම නොසැලකිල්ල නිසා බැකෝ යන්ත්‍රයක් එක්ක ප්‍රපාතයට පෙරළිලා මරණයට පත් වුණා. ඒ සිද්ධිය විතරයි.”
”ඔය වැලමිට වංගු කෙළින් කරන විදිහක් ගැන හිතුවේ නැද්ද?”
අපෙන් විහිළු ප්‍රශ්නයක්. එහෙත් පිළිතුර ඇඟට වදින සුලුය.
”... ඇත්තට ම වංගු කෙළින් කරන්න තිබුණා. නමුත් අපේ අංක එක පරිසරය. දහ අට වංගුව පුළුල් කෙරුවේ හැකිතාක් එහි තිබුණු පැරණි ගතිය රැකෙන විදිහටයි. මොකද දහ අට වංගුව මේ රටේ ජාතික උරුමයක්.”
”පාරවල් හැදීම වගේ ම කැඩීමත් මේ රටේ නිතර දකින දෙයක්. මේ පාරේ ආයුෂ කාලය කොච්චරද?”
”අවුරුදු 30 ක්. නමුත් නඩත්තු කටයුතු පටන් ගන්න වෙන්නේ තවත් අවුරුදු 20 කින්. හරියට පාවිච්චි කළොත් ඊටත් වඩා කාලයක් දුවන්න පුළුවන්.”
අපි රුපියල් මිලියන 300 ක් ඉතිරි කළා. ඒ මුදලින් මේ ප්‍රදේශයේ වෙනත් මාර්ග කිහිපයක් කාපට් කළා.”
මාර්ග සංවර්ධන අධිකාරිය තව දුරටත් පවසන පරිදි දහ අට වංගුව පුළුල් කිරීමේ දී ආරක්ෂක පැති බැමිවලට අමතරව අලුත් පාලම් 9 ක් සහ බෝක්කු 430 ක් ඉදිකොට ඇත. ව්‍යාපෘතියේ කාලය මාස 30 කි. රථවාහන ගමනාගමනයට බාධාවක් නැති නමුත් මෙහි තවමත් ඉදිකිරීම් කටයුතු කෙරෙමින් පවතී. ඒ සියලු වැඩ 2012 පෙබරවාරි මාසය අවසන් වීමට පෙර නිම විය යුතුය.
”නියමිත කාලයටම වැඩ අවසන් කරන්න පුළුවන් ද?”
”ගිහිං බලන්න.. දැටත් වැඩ අවසන් වෙමින් තියෙන්නේ..”
මහියංගණයේ සිට ආපසු එන ගමනේදී වාහනය අතර මඟ නතර කළ අපි පයින් ම දහ අට වංගුව නඟින්නට ගත්තෙමු. හිමිදිරි පාන්දර නිසා මීදුම හාත්පස වසා ගෙන ය. ඒ තුනී වෙත් ම සිසිල් හරිත පැහැය දෙනෙත් තුළට රිංගා යන්නේ දිලිසෙන අරුණාලෝකයත් සමඟ ය.
මම කන්ද නඟිමි. හතිය මිස වෙහෙසක් නො දැනෙයි. මේ මඟ මට දැනෙන්නේ විල්ලු ද පලසක් මතින් යන ගමනක් ලෙසිනි. අතරමඟ නතර වෙමින් විඩා නිවමින් පැය කීයක් ගමන් කෙළේ දැයි නිනව් නැත. එහෙත් එපා වීමක් නම් නැත. එදා පැයක් තිස්සේ දහ අට වංගුව බැස්ස වාහනයක් අද ඒ සඳහා වැය කළ යුත්තේ විනාඩි 15 ක තරම් සුළු කාලයකි. දහ අට වංගුවේ පයින් ගමන ඇඟට ගුණ නැති නමුත් අලුත් පාරට පය තබා ඇවිද යෑමට ඇති වූ තෘෂ්ණාව ඊට වඩා බලවත් විය. ඒ මඟ එතරම් ම ලස්සනය. නො ඉඳුල් ය.
අපට තොරතුරු ලබාදුන් එන්.ඒ.හෙට්ටිආරච්චි, (ව්‍යාපෘති ඉංජිනේරු මාර්ග සංවර්ධන අධිකාරිය), ආර්.එම්.රත්නායක (ඉදිකිරීම් කළමනාකරු කියැංනෑම්), ආර්.චන්ද්‍රරත්න (නේවාසික ඉංජිනේරු)
යන මහත්වරුන්ට ස්තුතිවන්ත වෙමු.

**************************************

දහඅට වංගු පාර හැදුනු හැටි

දහඅට වංගුව ගැන ඔබට යමක් ලියා කියා පහදන්නට කලින් ඔය කවිය මට ලියන්නට වූයේ දහ අට වංගුවේ බරපතළකම ඒ වටා ඇති උස් කඳු පන්ති ගැන කියවෙන බැවිනි.
උඩදුම්බර ජනතාව විශ්වාස කරන්නේ ඔය කවිය මීමන පේ‍්‍රමතිලක කවියා විසින් ලියන ලද්දක් බවය.
1950 ගණන්වල මහියංගණ පෙරහැර සමයේ මීමන පේ‍්‍රමතිලක මහතා මහියංගණ මහා විද්‍යාලයේ පැවති කවි මඩුවකට සහභාගි වී ඇත්තේ වංගු දහඅට මාර්ගයෙන් පැමිණය. ඒ අතර වාරයේ ඔය කවිය ලියූ බව කියැවේ.
කෙසේ නමුදු මේ වනවිට දහ අට වංගුව වංගු දහහතක් බවට පත්වී හමාරය. එසේම එකවර දෙපැත්තෙන් පැමිණෙන වාහනවලට කිසිදු බාධාවකින් තොරව ධාවනය කිරීමට දහ අට වංගුව මාර්ගය පුළුල් කිරීමේ කටයුතු අවසාන අදියරට ළඟා වී ඇත.
ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය ශ්‍රේණිගත කිරීමේදී දහ අට වංගුව ප‍්‍රදේශය සහිත මහියංගණ - මහනුවර මාර්ගය ශ්‍රේණිගත වී ඇත්තේ ඒ 26 ලෙසිනි.
මහියංගණ - මහනුවර මාර්ගයේ මැද මහනුවර උඩතැන්නේ සිට මහියංගණ පාලම දක්වා කිලෝමීටර් හතළිස් එකක මාර්ගය පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. එම මාර්ගය දැන් සෑහෙන දුරට අලූත් කර තිබේ.
මහියංගණ මහනුවර දහ අට වංගුවේ කිලෝමීටර් හතළිස් එක භාරව කටයුතු කරන මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති භාර ප‍්‍රධාන ඉංජිනේරු එන්.ඒ. හෙට්ටිආරච්චි මහතා හමුවී අප විස්තර විමසුවේ මාර්ගය ඉදිකිරීම ගැනය.
මේ ඔහු 18 වංගුව ගැන කී කතාවයි.






”මහියංගණ - මහනුවර 18 වංගුව මාර්ගයේ මැද මහනුවර උඩතැන්නේ සිට මහියංගණ පාලම දක්වා කිලෝමීටර් 41 ක් පුළුල් කිරීමේ කටයුතු 2008 නොවැම්බර් 01 වැනිදා ආරම්භ කළා මේ පසුගිය ජූලි මාසය වන විට සියයට 80 ක වැඩ නිම කරන්න අපට හැකිවෙලා තියෙනවා.
ඉතිරි සියයට විස්ස 2011/10/30 වෙනිදාට ඉවර කර පාරේ වැඩ නිම කරන්න තමයි අපේ උත්සාහය.
මේ සඳහා මිලියන හාරදහස් හත්සීය පහක් වෙන්වෙලා තියෙනවා. අපි ඒ මුදලින් මිලියන හාරදහස් හාරසිය තිස්පහක් වියදම් කරල මිලියන දෙසිය හැත්තෑවක් ඉතිරි කරගන්න තමයි උත්සාහ කරන්නේ.
ඒ මිලියන දෙසිය හැත්තෑව අපි ඉතිරි කරගෙන එයත් මෙම මාර්ගයේම සංවර්ධන වැඩවලට යොදවන්න තමයි උත්සාහය.
මෙම මාර්ග පුළුල් කිරීමේ කටයුතුවලදී අපට පෞද්ගලික ඉඩම් හරහා යන මාර්ගය සඳහා කිලෝමීටර් 17.5 ක්ද, වනජීවී අමාත්‍යාංශයට අයත් කිලෝමීටර් 18.2 ක්ද, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කිලෝමීටර් 4.4 ක්ද ඇතුළත් වුණා.
මෙහිදී ස්වභාවික සුන්දරත්වයට හානියක් නොවන අයුරින් මාර්ග පුළුල් කිරීමට අප කටයුතු කළා.
මෙම ව්‍යාපෘතියේදී විශේෂඥයන් සහ විදේශ කාර්ය මණ්ඩලය දොළොස් දෙනෙක්ද, තාක්ෂණ සහ ඉංජිනේරුවන් 128 ක්ද පරිපාලන අංශය 68 ක්ද, සහයකයින් 107 ක්ද, නුපුහුණු සේවකයන් 378 ක්ද පුහුණු සේවකයෝ 602 ක්ද වශයෙන් සියළු සේවකයන් 1195 දෙනෙක් උපයෝගී කරගෙන තිබෙනවා.
ලබන ඔක්තෝබර් තිස්වැනිදාට මාර්ගය සියළුම වැඩ නිම කරලා දෙන්න අපට හැකිවෙයි කියලා මම විශ්වාස කරනවා. එසේම වංගු දහ හත වැඩ නිම වීමත් සමග මහියංගණය සිට මහනුවර දක්වා පැය එකහමාරක් පැය දෙකක් අතර කාලයේදී ළඟාවිය හැකියැයි අපට විශ්වාස කරන්න පුළුවන්. එසේම මාර්ගයේ වැඩ නිමවීමෙන් අනතුරුව වංගු දහ හතේ (17) නැරඹුම් ස්ථාන කිහිපයක් සකසා සොබා දහමේ අසිරිය විඳින්නට අවස්ථාව සලසා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා.” ඉංජිනේරුවරයා කියයි.






වංගු දහ අට පාමුල පදිංචිව සිටින විශ‍්‍රාමලත් විදුහල්පතිවරයකු වන යා.මු.බ.ගු. ගොඩකුඹුර මහතා අපේ මේ කතාවට සම්බන්ධ කරගත්තේ 18 වංගු පාර පිළිබඳ බොහෝ තොරතුරු ඔහු සතු බැවිනි.
”යුරෝපීයයන් අපේ ලංකාව ආක‍්‍රමණය කළාට පසුව වතු වගාව යහමින් පටන් ගත්තානේ. මේ වතු වගාව පටන් ගැන්මත් සමගම ලංකාවේ කඳුකරයේ විශේෂයෙන් වතු වගාව සීග‍්‍රලෙස පැතිරිලා ගියා.
මේ යුරෝපීයන්ගේ නිෂ්පාදන ද්‍රව්‍ය කොළඹට රැුගෙන යෑමටත් උඩරට කැරැුල්ල වැනි කැරලි මර්දනය කරන්නත් මාර්ග සැකසීමට මුල පිරුනා.
උඩදුම්බර (කලින් මිනිපේ) ඡන්ද කොට්ඨාසයේ හුන්නස්ගිරිය අවට ඇති තේ වතුවලට හා එනසාල් වතුවලට යාමට ඒමට මාර්ග සැකසෙන්න ගත්තා. ඒ 1850 පස්සේ තමයි. උඩදුම්බර පාරවල් කැපෙන්න පටන් ගත්තේ.
මේ පාර සැකසීමට පෙර උඩදුම්බර ගම්ප‍්‍රධානීන් සිව්දෙනෙක් ලෙස නම්කොට සිටි ගම්පහ බස්නාහිර කෝරලේ, ගම්පහ නැගෙනහිර කෝරලේ, ගන්දෙක කෝරලේ, කන්ද පහළ කෝරලේ යන කෝරලේලා හතර දෙනා කැඳවා රැස්වීමක් තියලා තියෙනවා. ඒ රැස්වීමේදී තමයි හුන්නස්ගිරි කපොල්ලේ ඉඳලා උඩදුම්බර, වංගු දහ අට දක්වා මාර්ගය ගැන සැලසුම් කරලා තියෙන්නේ.
ඒ කාලේ ගම්වාසීන්ගේ බඩු බාහිරාදිය කරෙන් සහ ගොඩක් දුරකට අරන් යන්න තියෙන බඩු භාණ්ඩ රැගෙන යන්න ගොන්නු එහෙමත් නැත්නම් තවලම් භාවිත කරලා තියෙනවා. ඒ තවලම්වලින් බඩු භාණ්ඩ රැගෙන යාමේදී තවලම් නතර කර විඩාව නිවාගැනීමටත්, ගොනුන්ට (තවලම්) වලට ආහාර සැපයීම සඳහා නතර කළ තැන් තවලම්තැන්න, තවලම්පොළ වැනි නම් වලින් පසු කාලීනව හැඳින්වෙන්නට පටන් ගත්තා.
කොහොම හරි කඳු ගැට යාකරමින් හුන්නස්ගිරි කපොල්ලේ සිට වංගු දහ අට මාර්ගය සකසන්න පියවර ගත්තා.
ප‍්‍රසිද්ධ නොවුනත් මේ කෝරාලලා හතරදෙනා සුද්දන්ගෙන් ගම්වල ගැහැණු දරුවන් (කෙල්ලන්) ආරක්ෂා කරගන්න  ඕනෑ කියලා ගම් හරහා නැතිව ගම් නැති කඳු ගැටිති හරහා පාර හදන්න කතිකා කරගත් බව ජනප‍්‍රවාදයේ ප‍්‍රසිද්ධව තිබෙන කතාවක්.
මේ කාලය වනවිට උඩදුම්බර කියන ප‍්‍රදේශය හැඳින්වුණේ මිනිපේ කියලා. මේ ප‍්‍රදේශයම මාඩුගොඩ කියලත් හැඳින්වුවා. මාඩුගොඩ ගන්දෙක කෝරලේ හා ගම්පහ බස්නාහිර කෝරලේ අතර මායිමවෙලා ඒ හරහා උඩදුම්බරට එනකන් පාර කැපුනා.
උඩදුම්බර මේ කාලයේ ජනාවාස ගෙවල් තිබුණේ නැහැ. පාර කැපීමත් සමග කාලයාගේ ඇවෑමෙන් නිවාස ඉදිවෙලා ජනාකීර්ණ වෙලා තියෙනවා. උඩදුම්බර, නිසරුව, කෝවිල්මඩ, තවලන්තැන්න, තැම්මිටියාන, තිස්පන දක්වාත් එතනින් පසු තමයි වංගු දහඅට මාර්ගය ආරම්භ වන්නේ. එතනින් හසලක උඩුදහවෙල පාමුල දක්වා පාර කැපුනා. හසලක උඩුදහවෙල පාමුල, පල්ලේවත්ත, වේරගම, වේරගංතොටට පැමිණ මහවැලි ගඟ තරණය කරලා තමයි මහියංගණයට යන්න පාර සැකසුනේ.
තැම්මිටියාන හන්දිය හරහා ඇති විශාල කන්ද හරහා මාර්ගය සැකසීමත් පළවැනි වංගුව ඇතුළු ඒ හරහා කන්ද දිගේ හරහට වංගු 17 දක්වා මාර්ගය සැකසෙන්න පටන්ගත්තා.
එකේ වංගුව සිට තුනේ වංගුවට කන්ද හරහා මාර්ගය සකසාගෙන එන අතර වාරයේ එකේ වංගුව සැකසූතැනේදී කන්දට ඊසාන දිගින් පහළ ඇති රන්තැල්ල දිය ඇල්ල ඇති ප‍්‍රදේශයට මාර්ගය සකසා එතනින් දැන් හසලක නව නගරය තිබෙන තැනට මාර්ගය සැකසීමට කතා බහක් ඇතිව තිබුණ ද එය දුෂ්කර බැවින් එකේ වංගුව හරහා කඳු ගැටය හරහා වංගු දමමින් මෙම වංගු දහ අට නිර්මාණය වෙලා තියෙනවා.
වංගු දහ අට මාර්ගයේ දහ හත් වැනි වංගුව තිබෙන්නේ ගුරුළුපොත ගම අභියසයි. ඉන්පසුව දහ අටවැනි වංගුව තිබිලා තියෙන්නේ ටිකක් දුර කිලෝමීටර හතරක් පමණ පහළින්
ඒ දවස්වල ගම්මු හැඳින්වූ බෝගහහෙළ වංගුව එනම් 18 වැනි වංගුව හසලක වාරි මාර්ග කාර්යාලයට නුදුරින් පිහිටි වංගුව (උඩුදහ ගෙවල් දෙකකට මැදින් උඩුදහ වෙල පැත්තට ඇති වංගුව  දහ අට වැනි වංගුව වේ.
මෙය ඒ දවස්වල ගම්මුන් විසින් බෝගහ හෙළ වංගුව ලෙසත් දහ අටවැනි වංගුව ලෙසත් හැඳින්වුණා. එතනින් හසලක ඔය දිගේ විහිදි හසලක වී අලෙවි මණ්ඩලය දක්වා පැතිර තිබුණා.
හසලක ඔය බැම්මෙන් යටවෙන හේතුව මත 18 වැනි වංගුව කෙලින් කර වාරි මාර්ග කාර්යාලය ඉදිරිපිටින් පිරිවෙන අසලින් දිසාපති කාර්යාලය ඉදිරිපිටින් හසලක ඔර්ලෝසු කණුව අසලින් පැමිණි පැරණි පාරට මෙම පාර එක්වෙන්නට සැකසුවා.
මෙම 18 වැනි වංගුව කෙලින් කිරීම හේතුවෙන් 18 වංගුව අහිමි වී දහහත වංගුව ලෙස ඉන්පසු හඳුන්වන්නට පටන් ගත්තා. ඔය විදිහට තමයි ඔය වංගු දහඅට මාර්ගය සැකසුණේ.”
”මුල් කාලයේ මේ පාරේ එක බසයයි ධාවනය වුණේ. උදේ (මේල්) ලියුම් රැගෙන එන බසයයි. උදේ පැමිණ ආපසු සවසට නුවරට යනවා. බසය පදවන්නේ බොහෝම හෙමින්. එකම වංගුව පස්හය වතාවක් රිවෙස් කරලා තමයි බස් එක වංගුවලින් හරවා ගත්තේ. එතරම් දුෂ්කරයි දහඅට වංගුව මාර්ගයේ ගමනාගමනය.
ඒ වගේම ”සිල්වර් ලයින්” බස් සමාගමේ බස් ධාවනය වුණා ඔය කාලේදී.
එහි ප‍්‍රධානියා එම්.කේ.එම්. මුත්තාලිබ් හා විජේරත්න රඹුක්වැල්ල යන මහත්වරුන්ය. ඔය කාලේ බස් කොම්පැණි (සමාගම්) ජනසතු වුණා. ඊට පස්සේ ලංගම බවට පෙරළුණා. ඒත් සමගම මහනුවර උතුර ඩිපෝව ආරම්භ වුණා. ලංකාවට ලේලන්ඞ් බස්ගෙන එන එක ආරම්භ වුණා.
කලින් සිටම බස්වල රියදුරකු ලෙස සේවය කළ වලල රාජපක්ෂ රියදුරා ලේලන්ඞ් සමාගමේ උපදේශකයකු සමග වංගු 18 ට හරහා බසයක් ධාවනය කරන්න ගත්තා. එම රාජපක්ෂ රියදුරා දෙකේ වංගුව, 10 වංගුව, 12, 13, 14, 15 රිවස් නොකර බසය ධාවනය කරලා තියෙනවා. ලේලන්ඞ් සමාගමේ උපදේශකට ලොකු සතුටක් දැනිලා තියනවා. කඳුකරයට මේ බස් ඔරොත්තු දෙනවා කියලා.
ඒ වගේ 1960 දශකයේ මුල් භාගයේ ලංගම මහනුවර උතුර සූරසේන නම් රියදුරු මහත්තයෙක් ඉඳලා තියෙනවා. ඒ රියදුරු මහතා මහනුවරින් මහියංගණය මගීන් රැගෙන මග නොනවත්වා හුන්නස්ගිරියේ තේ නොබී පැය තුනකට අඩු කාලයකින් බස්රථය මහියංගණයට ධාවනය කර තියෙනවා. එහෙම නැත්නම් පැයතුනක් පැය තුනහමාරක් පැය හතරක් ඒ කාලේ බස්රථයක් මහනුවර සිට මහියංගණයට ළඟා වෙන්න ගත වෙලා තියෙනවා. ඒ මහතා කීය.
ඔක්තෝබර් මාසය වනවිට මෙම මාර්ගය සම්පූර්ණයෙන්ම වැඩ නිමවනු ඇත. අවට සුන්දරත්වය විඳීමට පැමිණෙන ජනයාගෙන් ඒ වන විට මෙම ප‍්‍රදේශය පිරී යනු ඇතැයි ප‍්‍රදේශවාසීහු විශ්වාස කරති.

***************************************





















************************************

ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය ශ්‍රේණිගත කිරීමේදී දහ අට වංගුව ප‍්‍රදේශය සහිත මහියංගණ – මහනුවර මාර්ගය ශ්‍රේණිගත වී ඇත්තේ ඒ 26 ලෙසිනි. යුරෝපීයයන් මෙරට ආක‍්‍රමණය කළ පසුව වතු වගාව පුළුල්ව පැතිරෙන්නට විය. මේ වතු වගාව ලංකාවේ කඳුකරයේ සීග‍්‍රලෙස පැතිරී යන්නට විය. යුරෝපීයන්ගේ මෙම වැවිලි නිෂ්පාදන ද්‍රව්‍ය කොළඹට රැගෙන යාම මාර්ග සැකසීමට මුල පිරීම ලෙස හඳුන්වන්නට හැකිය. වර්ෂ 1850 පසුව උඩදුම්බර දෙසටද පාරවල් ව්‍යාප්තවන්නට විය.
මේ පාර සැකසීමට පෙර උඩදුම්බර ගම්ප‍්‍රධානීන් සිව්දෙනෙක් ලෙස නම්කොට සිටි ගම්පහ බස්නාහිර කෝරලේ, ගම්පහ නැගෙනහිර කෝරලේ, ගන්දෙක කෝරලේ, කන්ද පහළ කෝරලේ යන කෝරලේ වරු හතර දෙනා කැඳවා රැස්වීමක් පවත්වා ඉන් අනතුරුව හුන්නස්ගිරි කපොල්ලේ සිට උඩදුම්බර, වංගු දහ අට දක්වා මාර්ගය ගැන සැලසුම් කර ඇත. එවකට ගම්වාසීන්ගේ බඩු බාහිරාදිය කර මතින් සහ තවලම් භාවිත කර ගෙනගොස් තිබෙනවා. ඒ තවලම්වලින් බඩු භාණ්ඩ රැගෙන යාමේදී තවලම් නතර කර විඩාව නිවාගැනීමටත්, ගොනුන්ට (තවලම්) වලට ආහාර සැපයීම සඳහා නතර කළ තැන් තවලම්තැන්න, තවලම්පොළ වැනි නම් වලින් පසු කාලීනව හැඳින්වෙන්නට පටන් ගත්තා.
මේ කෝරාල වරුන් හතරදෙනා සුද්දන්ගෙන් ගම්වල ගැහැණු දරුවන් (කෙල්ලන්) ආරක්ෂා කරගන්න ඕනෑ යැයි සිතා ගම් හරහා නැතිව ගම් නැති කඳු ගැටිති හරහා පාර හදන්න කතිකා කරගත් බව ජනප‍්‍රවාදයේ ප‍්‍රසිද්ධව තිබෙන කතාවක්. මේ අවධියේ උඩදුම්බර හැඳින්වුණේ මිනිපේ යන නමින්. මේ ප‍්‍රදේශයම මාඩුගොඩ නමින්ද හඳුන්වා තිබෙනවා. එවකට උඩදුම්බර ජනාවාස නොවින. පාර කැපීමත් සමග කාලයාගේ ඇවෑමෙන් නිවාස ඉදිවී ජනාකීර්ණ වී අද පවතින තත්වයට පත්ව ඇත. උඩදුම්බර සිට නිසරුව, කෝවිල්මඩ, තවලන්තැන්න, තැම්මිටියාන පසුකර තිස්පන දක්වාත් පැමිණි පසු වංගු දහඅට මාර්ගය ආරම්භ වෙයි. ඉන්පසු හසලක වේරගම, වේරගංතොටට පසුකර පැමිණ මහවැලි ගඟ තරණය කොට මහියංගණය දක්වා පාර සකස්කර ඇත.
එකේ වංගුව සිට තුනේ වංගුවට කන්ද හරහා මාර්ගය සකසාගෙන එන අතර වාරයේ එකේ වංගුව සැකසූතැනේදී කන්දට ඊසාන දිගින් පහළ ඇති රන්තැල්ල දිය ඇල්ල ඇති ප‍්‍රදේශයට මාර්ගය සකසා එතනින් දැන් හසලක නව නගරය තිබෙන තැනට මාර්ගය සැකසීමට කතා බහක් ඇතිව තිබුණ ද එය දුෂ්කර බැවින් එකේ වංගුව හරහා කඳු ගැටය හරහා වංගු දමමින් මෙම වංගු දහ අට නිර්මාණය වී ඇත. වංගු දහ අට මාර්ගයේ දහ හත් වැනි වංගුව තිබෙන්නේ ගුරුළුපොත ගම අභියසයි. ඉන්පසුව දහ අටවැනි වංගුව තිබී ඇත්තේ ඉන් කිලෝමීටර හතරක් පමණ පහළින්ය. ඒ දිනවල ගම්මු හැඳින්වූ බෝගහහෙළ වංගුව එනම්, 18 වැනි වංගුව හසලක වාරි මාර්ග කාර්යාලයට නුදුරින් පිහිටි වංගුව (උඩුදහ ගෙවල් දෙකකට මැදින් උඩුදහ වෙල පැත්තට ඇති වංගුව වේ.) මෙය ඒ දවස්වල ගම්මුන් විසින් බෝගහ හෙළ වංගුව ලෙසත් දහ අටවැනි වංගුව ලෙසත් හැඳින්වින. හසලක ඔය බැම්මෙන් යටවෙන හේතුව මත පසු කලෙක 18 වැනි වංගුව කෙලින් කර වාරි මාර්ග කාර්යාලය ඉදිරිපිටින් පිරිවෙන අසලින් දිසාපති කාර්යාලය ඉදිරිපිටින් හසලක ඔර්ලෝසු කණුව අසලින් පැමිණි පැරණි පාරට නව පාර එක්වෙන්නට සකසන ලදී. මෙම 18 වැනි වංගුව කෙලින් කිරීම හේතුවෙන් 18 වංගුව අහිමි වී දහහත වංගුව ලෙස ඉන්පසු හඳුන්වන්නට විය.
මුල් කාලයේ මේ මාරගයේ ධාවනය වී ඇත්තේ එක බසයක් පමණි. ඒ තැපැල් රැගෙන එන බසයයි. උදේ පැමිණ ආපසු සවසට නුවරට යන මෙම බසය පදවන්නේ බොහෝම හෙමින් බව ගම්මු පවසති. එකම වංගුව පස්හය වතාවක් රිවෙස් කර බස් එක වංගුවලින් හරවා ගත්තේ බවද ඔවුන් පවසති. එවකට මෙම ගමන එතරම්ම දුෂ්කර විය.
ලංගම ඇතිවීමත්සමඟ මහනුවර උතුර ඩිපෝව ආරම්භ කෙරුණ අතර ලංකාවට මුල්වරට ලේලන්ඞ් බස් ගෙනඑන ලදී. ඊට පෙර සිටම බස්වල රියදුරකු ලෙස සේවය කළ වලල රාජපක්ෂ රියදුරා ලේලන්ඞ් සමාගමේ උපදේශකයකු සමග වංගු 18 ට හරහා බසයක් ධාවනය කරන්න තෝරාගෙන තිබින. එම රියදුරා දෙකේ වංගුව, 10 වංගුව, 12, 13, 14, 15 රිවස් නොකර බසය ධාවනය කිරීම සම්බන්ධව ලේලන්ඞ් සමාගමේ උපදේශක වරයා සතුටට පත්ව කඳුකරයට මේ බස් ඔරොත්තු දෙන බව තහවුරු කර තිබෙනවා.

***********************************
***********************************

කඳු අතරින් උදේ හවා රිය සක හසුරන මාගේ..
සුක්කානම හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ..
කන්ද වසා හිත රවටා බැල්මක් වැටුනිද කාගේ..
එක හිත නැති නුඹේ හිතත් දහ අට වංගුව වාගේ..

මැද නුවරින් මං එනකොට නැගගෙන මහ කන්ද දිගේ..
ඉස්සරනම් නුඹ උන්නා උඩුදුම්බර හිච්චි නඟේ..
දැන් නොදකින හේතුව මට අදවත් පවසන්න හොඳේ..
මගේ හිතත් සැලෙන්නෙ නෑ හුන්නස්ගිරි කන්ද වගේ..

කන්ද බැහැලා මහියංගන වෙහෙර වඳිමු අපි දෙන්නා..
කියූ වදන් ගොළු කරගෙන දුම්බර උත්පලවන්නා..
වාන් දමන්නට කලියෙන් බැම්ම උඩින් හිත පන්නා..
අලු නොගැසුනු මගේ හිතත් කුළු ගඟටම දන් දුන්නා..


http://www.mediafire.com/play/jxtiwhmytdj/Kandu+Atharin+%2818+Wanguwa%29.MP3


BETA
*********************************************************************
**********************************************************************

දහ අට වංගු හිරිගඩු නැගෙන මීදුමෙන් වැසෙයි


ඉකුත් දින කිහිපයේ ලංකාවේ සතර දිග්භාගයට අධික වැස්සක් වැටුණේය.මේ මොහොතේද සමහර පළාත් වල ඇතැම් ප‍්‍රදේශ වලට ඒ අයුරින්ම වැසි ලැබෙමින් පවතී. සොබාව ධර්මය මිනිස් සංතානයට විටෙක අපූරු පාඩම්ද ගෙන එනු ලබන්නේය. මේ සොබා දහමෙන් අපට ලැබෙන අව්වත් වැස්සත් හේතුවෙන් මිනිස් සිත සතුටටත් විටෙක දුකට කඳුළටත් බරවෙන අවස්ථා එමටය.

මේ සටහන තබන්නේ ඒ දුක කඳුළ ගැන ලියන්නට නම් නොවේය.බොහෝ අපූරුජනක හිතේ සහ ගතේ හිරිගඩු පිපෙන චමත්කාරජනක සටහනක් තබන්නටය. පසුගිය දින කිහිපයේ ලංකාවට ඇදහැළුණු වැස්ස මහියංගණ මහනුවර මාර්ගයේ උඩදුම්බර සිට දහඅට වංගු දක්වාද ඇදහැළුණු අතර උඩදුම්බර සිට දහඅට වංගුව අවසානය දක්වා තැනින් තැන මීදුම් සළුපට සොබාදහමින් ගලා හැලෙමින් තිබිණි.
අපට මෙම මීදුම් චමත්කාරජනක දසුනක් වුවද එම මාර්ගයේ රථවාහන පදවන රියදුරන්ට නම් ගෙන ආවේ තැති ගැන්මක් බව නොරහසකි.1850 ගණන් වලට පෙර දහඅට වංගු වලට මීදුම් ගැලූවාට ඒ කාලේ ජීවත් වූ මිනිසුන්ට නිනව්වක් නොතිබුණේය. ඒ, ඒ කාලයේ වංගු දහඅට මාර්ගයක් නොතිබුණු හෙයිනි. අද බස් රථ යන ඒ මාර්ගය වෙනුවට ඒ කාලයේ තිබුණේ අඩි පාරවල්ය. ඒ ඔස්සේ තවලම් හරහා බඩු භාණ්ඩ ප‍්‍රවාහනය කළේය.
මිනිසුන් පයින් තම ගමන් බිමන් ගියේය. 1850 ගණන් වලින් පස්සේ හුන්නස්ගිරි කපොල්ලේ ඉඳලා මහියංගණයට මාර්ගය හැදුනේය. දැන්නම් දහඅට වංගුව මාර්ගය පුළුල් කරන වැඩ කටයුතු නිමාවීමේ අවසන් අදියරයටත් පැමිණ හමාරය.ඉකුත් සතියේ ඇදහැළුණ වැස්සත් සමග දහඅට වංගු පුරවැගිය, තිස්පහ, තැම්මිටියාන, කොරවිල්මඩ, උඩදුම්බර ප‍්‍රදේශ වලට මීදුම ගලා ගෙන ආවේ ඒ දකින සෑම කෙනෙකුගේම හිතේත් ගතේත් හිරිගඩු නැගෙන මොහොතකය.
බස් රථ තම ප‍්‍රධාන විදුලි ලාම්පු දල්වාගෙන ඒ ප‍්‍රදේශ හරහා ධාවනය කරන්නට ගත්තේය. බස් රථයක ඇතුළේ සිටින මගීන් ඔවුන්ගේ බස්රථයට ඉදිරියෙන් එන බස්රථ වල විදුලි පහන් දල්වා පැමිණෙන අයුරු දැකීමෙන් හිතේ පහන් හැඟීමක් ඇති නොවුණා කියන්නට නම් බැරිය.කුඩා ළමයි ඒ දෙස බලා බොහෝම සතුටට පත්වූවෝය.අම්මේ අර හැම අතකම මීදුම්. මට බහින්න ඕනෑ. අපි බැහැලා ටිකක් ඉඳලා යමු.

ඒ බස් රථයක මවකගේ උකුලේ ඉඳගෙන සිටි පුංචි පුතෙකුගේ ඇවිටිල්ලකි. පුංචි පුතාගේ ඇවිටිල්ල නතර කරගන්නට ඒ පුතාට තරවටුවක් කරන්නට මවට සිදුවුනේය. පොඩි එකා මවගේ තරවටුවට බයේ බසයේ ඉදිරිය බලාගෙන තරහින් සිටියේය.
බස්රථ වලත් අනිකුත් රථවාහන වලත් ජනේල වසා තැබුනේ සොබාදහමින් එන සීතල දරාගන්නට බැරුවය.වෙනදා එක හැල්මේ දුවන බස්රථ මීදුම හේතුවෙන් වේගය අඩු කොට සෙමින් දහඅට වංගුව නගින අයුරුත් උඩදුම්බර දක්වා පරෙස්සමෙන් තම රථය පදවන අයුරුත් අප දුටුවෙමු.දහඅට වංගුව කන්ද පුරාත් උඩදුම්බර ප‍්‍රදේශය සහ ඒ අවට කඳු ගැට සියල්ලම පාහේත් මීදුමෙන් වැසී තිබිණි.

මහ දවාලෙත් විදුලි එළි දැල්වූ බස් රියක්




මීදුමෙන් වැසුණු උඩුදුම්බර

මීදුම නොතකා යන බස් රියක්

***************************************************************************

  • View from 18 Wanguwa.
    View from 18 Wanguwa.

  • Kandy Mahiyanganaya
    Kandy Mahiyanganaya
  • Old Retention Wall - Second Elbow Bend
    Old Retention Wall - Second Elbow Bend
  • Sixteenth Elbow Bend
    Sixteenth Elbow Bend
  • Sign Post of the Second Elbow Bend
    Sign Post of the Second Elbow Bend
  • Road to Hunnasgiriya.
    Road to Hunnasgiriya.
  • View from 18 Wanguwa.
    View from 18 Wanguwa.
  • Sign Post of the first of eighteen elbow bends
    Sign Post of the first of eighteen elbow bends
  • Sixth Elbow Bend ahead
    Sixth Elbow Bend ahead
  • Sixteenth elbow bend
    Sixteenth elbow bend
  • 18 HAIR PIN BENDS ROAD
    18 HAIR PIN BENDS ROAD
  • Twelveth elbow bend
    Twelveth elbow bend
  • Fifteenth Elbow Bend
    Fifteenth Elbow Bend
  • Kandy - Mahiyanganaya Rd. (දහ අට වංගුව පාර)
    Kandy - Mahiyanganaya Rd. (දහ අට වංගුව පාර)
  • Eighth Elbow Bend
    Eighth Elbow Bend
  • View From 18 Bend ( දහ අට වංගුව )
    View From 18 Bend ( දහ අට වංගුව )
  • Twelveth Elbow Bend
    Twelveth Elbow Bend
  • 18 HAIR PIN BENDS ROAD
    18 HAIR PIN BENDS ROAD
  • Kandy - Mahiyanganaya Rd. (දහ අට වංගුව පාර)
    Kandy - Mahiyanganaya Rd. (දහ අට වංගුව පාර)
  • Fifth Elbow Bend
    Fifth Elbow Bend
  • View from 18 Wanguwa.
    View from 18 Wanguwa.


    ********************************************************************************************************














**************************************************

No comments:

Post a Comment